Wednesday, August 27, 2014

අපේ රටේ ( ලංකාවේ ) දරු පවුලක් ජීවත්වන නිවසක්.

මෙය අඹු සැමි යුවලක් සහ කුඩා දරුවකු ජිවත් වන නිවසකි.( ස්ථානය :-  නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කය. ) ඡායා රූපය දෙස එක එල්ලේ බැලූ විට මෙය අහිකුණ්ඨක නිවසක් යැයි ඔබට සිතෙනවාට සැකයක් නැත. පැල්පත අසල තිබෙන පොල් ගසෙහි වයසත් නිවසත් පිළිබඳව විමර්නාත්මකව අධ්‍යයනය කරන්න.  මෙම නිවස පිහිටි ඉඩම පර්චස් 30ක 40ක ප්‍රමාණයකින් යුක්තය. ගෘහ මූලිකයාගේ රැකියාව ( කුලී වැඩ )  කම්කරු වෘත්තිය වේ. මෙවැනි නිවාස වල ජීවත් වන පවුල් දහස් ගණනක් තවමත් අපේ රටේ සිටින බව කීවොත් ඔබ එය අවිස්වාස කිරීමට ඉඩ ඇති බව මා  දනිමි. නමුත් සත්‍යය එයයි. නගරය ලස්සන කරන්න කෝටි ගණන් මුදල් වියදම් කරන යුගයක මෙවැනි නිවාස වල අපේම මිනිසුන්ට ජිවත් වීමට ඉඩ සැලස්වීම ගැන අප ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුය.  


Sunday, February 2, 2014

පාංශුකූල පිංකම සහ ආගමික අධිකාරීවාදය

(පාංශූකූලයට වඩින්නේ දායකත්වය තියෙන ගෙවල් වලට විතරයි. දායක කම ගන්නනම් රුපියල් 7000ක සමාජික විකට් පතක් ලබාගත යුතුයි. - පන්සලක නායක හාමුදුරු නමක් පසුගියදා ගත් තීරණයකි.)

කිසිවෙක් මිය ගිය විට සිදුකරනු ලබන වත් පිළිවෙත් සමුදායක් සෑම සංස්කෘතියකම දක්නට ලැබෙයි. සංස්කෘතීන් අතර මෙන්ම මහා සංස්කෘතියක උප සංස්කෘතීන් අතරද  මළ මිනිය වල දැමීමට හෝ පුච්චා දැමීමට පෙර සහ පසුව සිදු කරනු ලබන පුද පූජාදිය තුල එකිනෙකට සමාන මෙන්ම වෙනස් ලක්ෂනද අපට දැක ගත හැකිය.  දියුණු නොදියුණු ලෙස බෙදා වෙන් කර දැක්විය නොහැකි මෙම වත් පිළිවෙත් මගින් මිය ගිය පුද්ගලයාගේ පරලොව යහපත හා ජීවත්ව සිටින්නන්ගේ ආරක්ෂාවත් බොහෝ විට අපේක්ෂා කරති. සිංහල සමාජය ද තම ආගමික විස්වාසයන් මත පදනම්ව පුද්ගලයෙකු මියගිය පසු සිදුකලයුතු යැයි සම්මත කරගත් ක්‍රමවේදයක් දක්නට ඇත.

කෙනෙකු මිය ගිය පසු ළගම ඥාතීන් හෝ හිතවතුන් විසින් ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට දැනුම් දීම.
නායක හාමුදුරුවන්ට මතක වස්ත්‍ර පූජාවට ආරාධනා කිරීම.
මතක වස්ත්‍ර පූජාවට භික්ෂූන් වහන්සේලා වැඩවවීම.
මතක වස්ත්‍ර පූජාව පැවැත්වීම
හත් දවසේ (දින පහෙන්ද සිදු කරණු ලබයි.) බණ සඳහා නායක හාමුදුරුවන්ට ආරාධනා කිරීම.
හත් සවසේ බණ පැවැත්වීම.
පසුදා හීල් දානය පන්සල වෙත ගෙන ගොස් පූජා කිරීම.
තුන් මාසයේ දානය.
අවුරුද්දේ දානය. දක්වා මෙම පින්කම් මාලාව කඩ නොකර පවත්වාගෙන යෑම  සිංහල බෞද්ධයා සිදුකල යුතුය. එසේ නොවුනහොත් මිය ගිය පාර්ශවයට විශාල අගතියක් සිදුවෙතැයි විශ්වාස කරනු ලබයි. එයට සමානවම ජීවත්ව සිටින්නන් වෙතද අයහපත් ප්‍රතිඵල ඇති කරවන බැවින් එම අවස්ථාවන් මග නොහැර අනිවාර්යෙන් සිදු කළ යුතු යැයි සිංහල බෞද්ධ සමාජය පිළිගනිති. එහි ප්‍රති විපාක පිළිබඳව භික්ෂූන් වහන්සේලා අපව නිරන්තරයෙන් දැනුවත් කරනු ලබයි. එබැවින් එය අත්‍යාවශ්‍ය කටයුත්තක් වශයෙන් අපි විශ්වාස කරමු. කෙනෙකු මළ පසු නිකම්ම පුළුස්සා දමනවාට වඩා, කිසියම් ආගමික චාරිත්‍ර වාරිත්‍ර පද්ධයක් හරහා සිදු කිරීම මඟින් අප තවත් ශිෂ්ඨසම්පන්න තත්වයකට ගෙන ගොස් ඇති බවට ද තර්කයක් නැත.

පාංශූකූල ක්‍රියාවලියේ ප්‍රධාන චරිතය ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ විසින් පවරාගෙන ඇත. ඔහුට අවශ්‍ය පරිදි සහභාගිවෙන අනිකුත් භික්ෂූන් වහන්සේලා හැසිරිය යුතුය. එමෙන්ම වෙනත් පන්සලක භික්ෂුවකට පැමිණ පාංශුකූල පිංකම මෙහෙයවීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එසේ වුවහොත් නායක හාමුදුරුවෝ සීලය අමතක කරදමා සිවුර කරට ගන්නට නොපැකිලෙති. මේ නිසා එක් ගමක පාශුකූලයක් මෙහෙයවන්නට වෙනත් ගමක හිමි නමක් කිසි විටෙක උත්සාහ නොගනිති. එ බැවින් ගමේ ජීවත්වන සෑම පුද්ගලයෙකුම පන්සලේ දායකත්වය ලබාගෙන තිබිය යුතු අතර පන්සලේ නායකත්වයට අවනත විය යුතුය. මරණින් පසු පාංශුකූලය ලබාදිය හැක්කේ ගමේ පන්සලේ හාමුදුරුවන් හොදින් තියාගතහොත් පමණි. මෙ මගින් පන්සල විවේචනය කිරීම තබා නායක උන්නාන්සේගේ හොද හිත පළුඳු වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකල යුතුයැයි සිතන තත්වයට පුද්ගල මනස බැඳ දමා ඇත.

පසුගිය දශකය තුල ග්‍රාමීය පන්සල් වල කිසියම් පසු බැස්මක් දැක්නට ලැබිණ. ජනතාව ක්‍රමයෙන් පන්සලෙන් ඈත්වී වෙනත් විකල්පයන් (ක්‍රිස්තියානි නිකායන් වෙත / අරණ්‍යවාසී භික්ෂූන් වෙත ඇදී යාම වැනි) වෙත ගොනු වන්නට විය. මෙම තත්වය හමුවේ තම පැවැත්ම තව දුරටත් ආරක්ෂා කර ගැනීම උදෙසා විවිධ උපක්‍රම යොදා ගැනීමට සිඳුවිය. ගොදුරු ගම් පිළිබඳ පැවැති පැරණි සම්ප්‍රදායන් නව ආරකින් ගෙන එමින් ගම තුල ආගමික අධිකාරීවාදයක් ගොඩ නගා ගැනීම ඒ අතරින් ප්‍රධාන විය. සිංහල බුදුදහම විසින් නිර්‍මාණය කරගන්නා මෙම අවස්ථාවාදී මති මතාන්තර මඟින් සිදුවන්නේ  බුදුදහමේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සහනශීලී භාවය ආපස්සට ගෙනගොස් බ්‍රාහ්මණවාදය නැවත තහවුරුවීමක් පමණකි෴

Sunday, November 3, 2013

නිදහසට පෙර සිංහල සමාජයේ තම්බියාගේ භූමිකාව


     මුස්ලිම් ජාතිකයන් පිළිබඳව නොයෙකුත් කතා බහ කරළියට පැමිණියේ බඩගෝස්තරවාදී ජාතිවාදීන්ගේ දේශපාලන උවමනා එපාකම් ඉටුකරන්නටම පමණක් වීම කණගාටු දායක කරුණකි. කෙසේ වෙතත් මොවුනගේ සමාජ හැසිරීම පිළිබඳව අවධානය යොමු කිරීම කාලීන වශයෙන් කිසියම් වටිනාකමක් හිමිවන කරුණකි. මුස්ලිම් ජාතිකයා, නවීකරණයට හසුනොවූ සාම්ප්‍රදායික සිංහල සාමාජය  තම වාසියට යොදාගන්නා ආකාරය ආර්. ඇල්. ස්පිට්ල් ගේ මැකීගිය දඩමංනැමැති කෘතියෙහි ඉතා සරලව දැක්වේ. නවකතාවක ස්වරූපය ගත් මැකීගිය දඩමං නැමැති පොත රචනා වන්නේ ස්පිට්ල් විසින් වසර ගණනාවක් වැද්දන් හා ඔවුන්ගේ ජීවන විලාසය පිළිබඳව කැරෙන සමාජ මානව විද්‍යාත්මක අධ්‍යනයකින් පසුවය. 1890 -1930 අතර ලාංකිය ගැමි සමාජය මෙම පර්යේෂණයට පසුබිම්ව ඇත.

ගම් වැද්දන්ගේ ගමක් වු ගල්මැදේ පීනා නම් මරක්කල මිනිහෙක් වාසය කළේ ය. මුහුදුකරයේ සිට ආ මේ මිනිහා මෙහි පදිංචි ව සිටීමේ නියම හේතුව කංසා වෙළදාම වූ නමුත් මෙතෙම එය වසං කිරීමට බලනතලාවේ ගව පටිටියක් ඇති කළේ ය.මහ වන මැද ජිවත්වීමට හේතුව වශයෙන් ඔහුට ගවපට්ටිය ඉදිරිපත් කළ හැකිව තිබිණ. එහෙත් වනයේ දුරින් දුර පිහිටි කුඩාගම්වල ආරච්චිරාළලාට කාරණය වසං කිරිම ඔහුට නොකළ හැක්කක් වී ය. මොවුන් අතරෙන් ද වැඩි දෙනෙක් කංසා වෙළදාම කළෝ වුහ. පීනා කළේ තමා වරදට අසු නොවන විධියේ සෙල්ලමකි. ඔහු ගම්මුන් අතර කංසා ඇට බෙදා දිමත් කංසා හේන් වැවීමට හැම අනුබලයක්ම දීමත් කළ නමුත් වැටලිමක් වූ අවස්ථාවකදී තමා ඒ ගැන කිසිවක් නොදන්නේ යයි කීමට ඔහුට හැකි විය. පීනා නිසා කංසා වැවීමේ අවදානම් කාරියට පෙළඹුණ නූගත් ගැමියන් අවුරුද්දේ වැඩි කොටසක් කංසා ගොවිතැන සඳහා වෙහෙසෙන අතර, අවසානයේ එයින් තමාට ලැබෙන විශාල ලාභය ගැන සිතමින් පීනා සිහිල් සෙවණේ ගෙදරට වී සිටියි.

(සිංහලයන් විදියට ආඩම්බර වෙන්න පුළුවන් එදා මුස්ලිම් ජාතිකයන් අතේ තිබ්බ මත්ද්‍රව්‍ය ජාවාරම අද වෙනකොට අපේ අතට ගන්න පුළුවන් වීම ගැන.)

කංසා වවන්නවුන්ගෙන් පීනා ඒවා ලබා ගන්ගත්තේ ඉතා සුළු මුදල් කොටස් වශයෙන් ගෙවීමෙනි. නැවත ඔහු ඒවා ගෙන ගොස් මඩකලපුව වැනි මුහුදුබඩ නගරවල දී විකුණුවේ විශාල ගණන්වලට ය. කංසා හේන් වැවෙන අතර ගැමියන්ට වුවමනා ආහාර හා වෙනත් දේ ද සපයා දෙන මොහු එමෙන් කීප ගුණයක් වටිනා අස්සැන්න ඒ වෙනුවෙන් ලබා ගත්තේය. කංසාවලින් පමණක් නොව ඔවුන්ගේ හේන් කුඹුරු ආදියෙහි උපදින දෙයින් ද වැඩි කොටසක් මෙසේ ඔහු අතට පත්විය. වනගහනයේ සැඟවුණ තැන්වල ඇති කංසා වගාවන් සියල්ලක් රහසේ ගොස් සොයා බලා දැනගන්නා මොහු තමාට කෙනෙහිල්ලක් කළ ගැමියෙකුගෙන් පලිගනු සඳහා ඒ කංසා වගාව ඇති තැන නිලධාරින්ට රහසේ දැන්වීමට පසුබට නො වී ය. ගම්මුන්ගේ ආධාර කාරයකු මෙන් පෙනී සිටින මොහු ඇත්ත වශයෙන් ගම්මුන්ගේ ජීවරුධිරය උරා බොන මහ පිළිලයක් ව එහි විසුවේ ය.

(තම්බියා කියන්නේ කපටියෙක් කියල අපේ ජනශ්‍රැතියට එකතුවෙන්නේ ඒ කාලේ කරපු මේ වගේ තකතීරු වැඩ නිසා වෙන්න ඇති.)

පීනා ශක්තිමත් මිනිහෙක් විය. ඔහු එහි දී තමාගේ තාවකාලික බිරිඳ වශයෙන් ගම්මැදි ගැහැනියක තබාගෙන සිටියේ ය. එහෙත්, ණය ගනුදෙනු ආදියෙන් බැඳීම් ඇති ව සිටි මේ ගැමි පවුල්වල කිසි ම තරුණියක් මොහුගේ සැලකිල්ලට භාජන නොවූවා යයි නොකිය හැක. ගම් දැරියන් තුරුණු විය ලබා වැඩී එනු ඔහු තමාගේ කෑදර දෙනෙතින් බලා සිටියේ ය.

(අද වගේම එදත් සිංහල මිනිස්සුන්ගේ ඇස් වහල වෙළදාම් කරන්න තම්බියා දක්ෂ වෙලා තියෙනවා.)

ගල්මැදේ මිනිසුන් හා බලන ගල්ගෙයි වැද්දන් ද අතර සම්බන්ධකම් පැවැත්තේ අඩු වශයෙනි. සමහර විට මසකට එක් වරක් පමණ වැද්දෝ දෙන්නෙක් හුවමාරුවට ඇති යමක් රැගෙන ගල්මැදේ ගමට එති. කොයි දෙයක් නමුත් භාර ගන්ට සූදානමින් සිටින පීනා වැද්දන් ගෙනෙන වියලි දඩමස් මීපැණි ආදිය ගෙන වැද්දන්ට රසවත් දේ වන දුම්කොල බුලත් පුවක් ලුණු ආදිය ඒ වෙනුවට දෙයි. එහෙයින් වැද්දෝ හැම විටම පීනා සොයා යති.

එය මුදල් වලට එතරම් වටිනාකමක් නොතිබූ යුගයකි. එදිනෙදා ජීවිතයේදි අවශ්‍යකරන ලුණු, චීත්ත රෙදි, සරම් ආදීය ලබා ගැනීම සඳහා මිනිසුන්ට මරක්කලයින්ගේ සම්බන්ධය ඉතා වැදගත් වී ඇත. ඉන්දියාවෙන් හෝ වෙනත් පර්සියානු රටවලින් ගෙනෙන වෙළෙද ද්‍රව්‍ය රට ඇතුලට ගෙන ගොස් සිංහල ගැමියන්ට ලබා දෙන මුස්ලිම් ජාතිකයන් ඒ වෙනුවට ගම් වැසියන් සතු වටිනා ද්‍රව්‍ය ලබාගෙන ඇත.

මෙය හුදෙක් අධ්‍යයනය සඳහා පමණක් ම වේ. දේශපාලන වාසි ලබා ගැනීම අරමුණුකරගත් බඩගොස්තරවාදී ජාතිවාදීන් මෙම ලිපිය නොකියවන තරමට මා කැමතිය෴

අලි ඇතුන්ගේ කෙළි බිම, මින්නේරිය ජාතික උද්‍යානය.

   යමෙක් පාරාදීසය මොනවගේදැයි ඇසුවහොත් පෙන්වීමට සුදුසුතම ස්ථානයකි,මින්නේරිය ජාතික උද්‍යානය. සුපුරුදු පරිදි නිමක් නැති වන විනාශය මෙහිදීත් සිදු නොවන්නට චිරාත් කාලයක් එම සුන්දරත්වය අපේ රටට විශාල වටිනාකමක් ගෙන දෙන්නට හැකියාව ඇත. නිදහසේ සැරිසරණ අලි ඇතුන් සියගණනක් එකවර දැක ගැනීමේ  දුර්ලභ අවස්ථාව මෙහිදී  අපට හිමිවේ. (බලධාරීන්ගේ අනවධානය නිසා දිනපතා මිය යන අලි ඇතුන් ප්‍රමාණය දෙස බැලූ විට වැඩි කල් නොගොසින්ම දෙහිවලට පමණක් අලින් ඇතුන් සීමා වන්නටද බොහෝ දුරට ඉඩ ඇත.) අප එහි ළගා වූ දිනයේ ද මින්නේරිය වැව් තාවුල්ලට අලි ඇතුන් සියයකටත් වැඩි පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් ඔබ මොබ නිදහසේ සැරිසරමින් විනෝද වෙමින්  සිටිනයුරු දැකගන්නට අවස්ථාව අපටද හිමිවිය. මින්නේරිය ජාතික උද්‍යානය භාර උදවියගෙන් විදෙස් සංචාරකයින්ට ලැබෙන සහයෝගය දේශිය අපට නොලැබුනත් (ලංකාවේ කොතැනත් එය සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇත.) සොබාදහමේ අපූර්ව චමත්කාරය විදගන්නට අලි ඇතුන්ගෙන් නොමද සහයක් අප වෙත ලැබිණ. 





Monday, October 28, 2013

පොදු රාජ්‍ය මණ්ඩලය, සිංහල ජාතිය හා පරගැතිබවේ අභිමානය


   2013 පොදු රාජ්‍ය මණ්ඩල සැසි වාරය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය රටවල් කිහිපයක නායකයින්ගේ රැස්වීමකි.  දින කිහිපයක රැස්වීමක් වුවද මාස කිහිපයක් පුරාවට  සැනකෙළි ආශ්වාදයක් ලබා දීම පිළිබඳව පළමුව  වගකිව යුතු පුද්ගලයන්ට ස්තූතිය පුද කරන්නෙමු. අපට මෙම උත්කර්ෂවත් අවස්ථාව හිමිවන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති නිසාය. කිසියම් හේතුවක් නිසා 1796දී සුද්දා ලංකාවට නොපැමිණියේනම්, 1818 කැරල්ල සුද්දා පැරදුණානම්, 1848 සටනින් ගොංගාලේගොඩ බණ්ඩා දිනුව නම්  අද අපට මේ අභිමානවත් අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබිණ. භාග වෙලාවට සුද්දා අපිව යටත් කරගත්තු එකේ වාසියක් නැත්තෙම නැහැ කියන්නත් අවස්ථාවක් මේ නිසාම සිංහලයාට අද ලැබෙනවා.

    බ්‍රිත්‍රාන්‍ය කිරීටය අමරණීය කිරීමට සුද්දා හදාගත්තු ජාත්‍යන්තර සංවිධානය තමයි මේ පොදු රාජ්‍ය මණ්ඩලය. නමේ මුලට පොදු කියල දාගත්තට මේක සුදු ජාතිකයන් වෙනුවෙන්ම බිහිවූ සංවිධානයක්. බ්‍රිතාන්‍ය ලෝකය ආක්‍රමණය කරන්න පටන්ගත්තෙ පෘතුග්‍රීසි කාරයට පස්සේ වුනාට ඔව්න් ඉතා ඉක්මනින් යටත් විජිත හදාගත්තා. ඒ අතරින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව කියන රටවල් ඉතා පහසුවෙන් යටත් වුනා. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළද සමාගම හරහා අධික ලාභ ලබන අතරම තම නියෝජිතයන් විසින් සිදුකරන පාලන ක්‍රමයක්ද මෙම රටවල් තුල ගොඩ නැගුනා. එංගලන්ත ජාතිකයන් මේ රටවල් වල පැල පදියම් වී ඔව්න්ගේ පරපුර ව්‍යාප්ත කලා. එංගලන්තය නිජ භූමිය කරගත් ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් රටවල් එකට ඈදා තබාගන්න ඔව්න් 1867දී පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භකරනවා. (අදටත් මේ රටවල් ඔව්න්ගේ නායකයා විදියට සලකන්නේ එංගලන්තයේ රැජිනයි.) දෙවන ලෝක යුද්ධයෙන් පසුව තව දුරටත් යටත්විජිත තබාගැනීමට නොහැකි තත්වයකට ඔව්න් පත් වෙනවා. එම රටවලින් ඉවත් වීමට ඔව්න්ට බල කෙරෙනවා. මේ තත්වය තුල තම අධිරාජ්‍ය තව දුරටත් පවත්වාගැනීම සඳහා යොදාගත් එක් උපක්‍රමයක් වන්නේ නිදහස ලබා දෙන රාජ්‍යයන් පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු කර ගැනිමයි. ඒ හරහා බ්‍රිත්‍රාන්‍ය කිරීටයට එම රාජ්‍යයන්ගේ අවනත භාවය වක්‍රාකාරයෙන් ලබාගත හැකි බැවිනි. ඉහත කාරණය සත්‍ය බව පෙන්වීමට උදාහරණ අනවශ්‍ය වනුයේ ලංකා රජය විසින් විශාල වෙහෙසක් දරා සිදු කරන 2013 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේ පූර්ව ප්‍රචාරක කටයුතු දෙස බැලූ විට එම තත්වය සරළව වටහා ගත හැකි බැවිනි.

  තවමත් ජාතියක් වශයෙන් සිංහලයන් ලංකාව තුල සංවිධානාත්මකව සිටිනවා යැයි මා විස්වාස කරමි. තමන් සිංහල යැයි කියාගන්නා මිනිසුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානය ගැන උදම් අනන්නේ මහත් උජාරුවෙනි. පසුගිය දිනෙක ගුවන් විදුලි නිවේදිකාවක් පැවසුවේ බ්‍රිත්‍රාන්‍ය යේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ලංකාවට පැමිණෙන බැවින් එතුමාට මුළු රටේම ප්‍රණාමය හිමිවිය යුතු බවයි. සිංහල ශිෂ්ඨාචාරය ම්ලේච්ඡ ලෙස වනසා දැමූ අධිරාජ්‍යවාදීන් ඉදිරියේ මෙයාකරයෙන් නිරුවත් වන්නේ අප සතු පරගැති බව නිසාම විය යුතුය. බ්‍රිත්‍රාන්‍ය අධිරාජ්‍යයයෙන් ලංකාව නිදහස් කර ගැනීමට සිංහලයන් ලක්ෂ ගණනක් ජීවිත පුජා කල බව මෙතරම් ඉකිමනින් අමතක කර දැමුවේ ඇයි. එය ජාතියක් වශයෙන් සිදු කල යුත්තක් විය නොහැක.බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවෙන් එළවා දැමීමට එදා සිංහල මිනිසුන් යුධ කළ ආකරය ග්‍රන්ථයන්හි මෙසේ සඳහන් වේ.

1818 පෙබරවාරි 21 වෙනිදා මුළු උඩ රට පෙදෙසේ ම මාර්ෂල් ලෝ නැමැති යුද්ධ නීතිය පනවන ලදී. ඉංගිරිසි භටයෝ මුළු උඩ රටම රාජද්‍රෝහීන්  ලෙස සලකා ගිය ගිය තැන ගෙවල් දොරවල් ගිනිතැබීම් ආදී සාහසික ක්‍රියා කළහ.

අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානිය මෙ පමණ යැ යි නිශ්චය කළ නොහැකිය. සිංහලයෝ 10000කට වැඩි ගණනක් මිය ගියහ. මිය ගිය ඉංගිරිසි භටයන්ගේ නියමිත ගණනක් සඳහන්ව ඇති  බවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙන යනු ලැබූ 173දෙනෙකුගෙන් 114දෙනෙකුම මිය ගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000ක් පමණ භටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.

ඉංගිරිසි භටයෝ සිංහල ගම් වැසියන් ගේ ගෙවල් වල වටිනා දේ පැහැර ගෙන ගෙවල් වලට ගිනි තැබූහ. පැසී නැමී තිබුණු කුඹුරු වලට ගිනි තැබූහ. ගම් වැසි ස්ත්‍රීහු ද ළමයි ද ඈත කඳු මුදුන් වලට වී ගිනිගෙන දැවෙන තමන්ගේ ගෙවල් හා කුඹුරු දෙස බලමින් දුක් කඳුළු හෙලූහ. මුළු රටම පාළු වීම නිසා කාලයක් යන තෙක් ආහාර හිගය තදින් පැවැත්තේ ය.

  සැබෑ අතීතයක් ආයාසයෙන්ම අමතක කර අළුත් ඉතිහාසයක් ගෙඩනැගීමෙන් අපට ලැබෙන්නේ මොනවාද? කැප්පෙටිපොල, ගොංගාලේගොඩ බණ්ඩා පුරන් අප්පුලා ජාතික වීරයන් සේ උපහාර දැක්වූ යුගය අවසන් කරන අප , එදා යුද්ධ නීතිය පනවා සිංහලයන් තිරිසන් අයුරින් සමූල ඝාතනය කළ රොබට් බ්‍රව්න්රිග් ලා වීරයන් බවට පත්කරවන දිනය පැමිණෙන තෙක් ප්‍රීතියෙන් ඔද වඩමින් රූපවාහිණිය දෙස වශීකෘතව බලා සිටිමු. කරුණු දැන හෝ නොදැන පොදු රාජ්‍ය මණ්ඩලයට අනවශ්‍ය අභිමානයක් දීමෙන් අප සිදුකරන්නේ එදා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැද සුද්දා අතින් මරණයට පත්වූ සියදහස් ගණනක් මිනිසුන්ගේ ආත්මය මරා දැමීමකි. 

Thursday, October 24, 2013

"පොදු රද මඩුල්ල" (අභිමානය ඔබයි)


පොදු රද මඩුල්ල
(සුදු ජාතිකයාගේ සංගමය)

1796
පර සුද්දා

1818
පර සුද්දා

1848
පර සුද්දා

2013

අභිමානය ඔබයි.