Monday, October 28, 2013

පොදු රාජ්‍ය මණ්ඩලය, සිංහල ජාතිය හා පරගැතිබවේ අභිමානය


   2013 පොදු රාජ්‍ය මණ්ඩල සැසි වාරය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය රටවල් කිහිපයක නායකයින්ගේ රැස්වීමකි.  දින කිහිපයක රැස්වීමක් වුවද මාස කිහිපයක් පුරාවට  සැනකෙළි ආශ්වාදයක් ලබා දීම පිළිබඳව පළමුව  වගකිව යුතු පුද්ගලයන්ට ස්තූතිය පුද කරන්නෙමු. අපට මෙම උත්කර්ෂවත් අවස්ථාව හිමිවන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති නිසාය. කිසියම් හේතුවක් නිසා 1796දී සුද්දා ලංකාවට නොපැමිණියේනම්, 1818 කැරල්ල සුද්දා පැරදුණානම්, 1848 සටනින් ගොංගාලේගොඩ බණ්ඩා දිනුව නම්  අද අපට මේ අභිමානවත් අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබිණ. භාග වෙලාවට සුද්දා අපිව යටත් කරගත්තු එකේ වාසියක් නැත්තෙම නැහැ කියන්නත් අවස්ථාවක් මේ නිසාම සිංහලයාට අද ලැබෙනවා.

    බ්‍රිත්‍රාන්‍ය කිරීටය අමරණීය කිරීමට සුද්දා හදාගත්තු ජාත්‍යන්තර සංවිධානය තමයි මේ පොදු රාජ්‍ය මණ්ඩලය. නමේ මුලට පොදු කියල දාගත්තට මේක සුදු ජාතිකයන් වෙනුවෙන්ම බිහිවූ සංවිධානයක්. බ්‍රිතාන්‍ය ලෝකය ආක්‍රමණය කරන්න පටන්ගත්තෙ පෘතුග්‍රීසි කාරයට පස්සේ වුනාට ඔව්න් ඉතා ඉක්මනින් යටත් විජිත හදාගත්තා. ඒ අතරින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව කියන රටවල් ඉතා පහසුවෙන් යටත් වුනා. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළද සමාගම හරහා අධික ලාභ ලබන අතරම තම නියෝජිතයන් විසින් සිදුකරන පාලන ක්‍රමයක්ද මෙම රටවල් තුල ගොඩ නැගුනා. එංගලන්ත ජාතිකයන් මේ රටවල් වල පැල පදියම් වී ඔව්න්ගේ පරපුර ව්‍යාප්ත කලා. එංගලන්තය නිජ භූමිය කරගත් ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් රටවල් එකට ඈදා තබාගන්න ඔව්න් 1867දී පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භකරනවා. (අදටත් මේ රටවල් ඔව්න්ගේ නායකයා විදියට සලකන්නේ එංගලන්තයේ රැජිනයි.) දෙවන ලෝක යුද්ධයෙන් පසුව තව දුරටත් යටත්විජිත තබාගැනීමට නොහැකි තත්වයකට ඔව්න් පත් වෙනවා. එම රටවලින් ඉවත් වීමට ඔව්න්ට බල කෙරෙනවා. මේ තත්වය තුල තම අධිරාජ්‍ය තව දුරටත් පවත්වාගැනීම සඳහා යොදාගත් එක් උපක්‍රමයක් වන්නේ නිදහස ලබා දෙන රාජ්‍යයන් පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු කර ගැනිමයි. ඒ හරහා බ්‍රිත්‍රාන්‍ය කිරීටයට එම රාජ්‍යයන්ගේ අවනත භාවය වක්‍රාකාරයෙන් ලබාගත හැකි බැවිනි. ඉහත කාරණය සත්‍ය බව පෙන්වීමට උදාහරණ අනවශ්‍ය වනුයේ ලංකා රජය විසින් විශාල වෙහෙසක් දරා සිදු කරන 2013 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේ පූර්ව ප්‍රචාරක කටයුතු දෙස බැලූ විට එම තත්වය සරළව වටහා ගත හැකි බැවිනි.

  තවමත් ජාතියක් වශයෙන් සිංහලයන් ලංකාව තුල සංවිධානාත්මකව සිටිනවා යැයි මා විස්වාස කරමි. තමන් සිංහල යැයි කියාගන්නා මිනිසුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානය ගැන උදම් අනන්නේ මහත් උජාරුවෙනි. පසුගිය දිනෙක ගුවන් විදුලි නිවේදිකාවක් පැවසුවේ බ්‍රිත්‍රාන්‍ය යේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ලංකාවට පැමිණෙන බැවින් එතුමාට මුළු රටේම ප්‍රණාමය හිමිවිය යුතු බවයි. සිංහල ශිෂ්ඨාචාරය ම්ලේච්ඡ ලෙස වනසා දැමූ අධිරාජ්‍යවාදීන් ඉදිරියේ මෙයාකරයෙන් නිරුවත් වන්නේ අප සතු පරගැති බව නිසාම විය යුතුය. බ්‍රිත්‍රාන්‍ය අධිරාජ්‍යයයෙන් ලංකාව නිදහස් කර ගැනීමට සිංහලයන් ලක්ෂ ගණනක් ජීවිත පුජා කල බව මෙතරම් ඉකිමනින් අමතක කර දැමුවේ ඇයි. එය ජාතියක් වශයෙන් සිදු කල යුත්තක් විය නොහැක.බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවෙන් එළවා දැමීමට එදා සිංහල මිනිසුන් යුධ කළ ආකරය ග්‍රන්ථයන්හි මෙසේ සඳහන් වේ.

1818 පෙබරවාරි 21 වෙනිදා මුළු උඩ රට පෙදෙසේ ම මාර්ෂල් ලෝ නැමැති යුද්ධ නීතිය පනවන ලදී. ඉංගිරිසි භටයෝ මුළු උඩ රටම රාජද්‍රෝහීන්  ලෙස සලකා ගිය ගිය තැන ගෙවල් දොරවල් ගිනිතැබීම් ආදී සාහසික ක්‍රියා කළහ.

අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානිය මෙ පමණ යැ යි නිශ්චය කළ නොහැකිය. සිංහලයෝ 10000කට වැඩි ගණනක් මිය ගියහ. මිය ගිය ඉංගිරිසි භටයන්ගේ නියමිත ගණනක් සඳහන්ව ඇති  බවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙන යනු ලැබූ 173දෙනෙකුගෙන් 114දෙනෙකුම මිය ගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000ක් පමණ භටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.

ඉංගිරිසි භටයෝ සිංහල ගම් වැසියන් ගේ ගෙවල් වල වටිනා දේ පැහැර ගෙන ගෙවල් වලට ගිනි තැබූහ. පැසී නැමී තිබුණු කුඹුරු වලට ගිනි තැබූහ. ගම් වැසි ස්ත්‍රීහු ද ළමයි ද ඈත කඳු මුදුන් වලට වී ගිනිගෙන දැවෙන තමන්ගේ ගෙවල් හා කුඹුරු දෙස බලමින් දුක් කඳුළු හෙලූහ. මුළු රටම පාළු වීම නිසා කාලයක් යන තෙක් ආහාර හිගය තදින් පැවැත්තේ ය.

  සැබෑ අතීතයක් ආයාසයෙන්ම අමතක කර අළුත් ඉතිහාසයක් ගෙඩනැගීමෙන් අපට ලැබෙන්නේ මොනවාද? කැප්පෙටිපොල, ගොංගාලේගොඩ බණ්ඩා පුරන් අප්පුලා ජාතික වීරයන් සේ උපහාර දැක්වූ යුගය අවසන් කරන අප , එදා යුද්ධ නීතිය පනවා සිංහලයන් තිරිසන් අයුරින් සමූල ඝාතනය කළ රොබට් බ්‍රව්න්රිග් ලා වීරයන් බවට පත්කරවන දිනය පැමිණෙන තෙක් ප්‍රීතියෙන් ඔද වඩමින් රූපවාහිණිය දෙස වශීකෘතව බලා සිටිමු. කරුණු දැන හෝ නොදැන පොදු රාජ්‍ය මණ්ඩලයට අනවශ්‍ය අභිමානයක් දීමෙන් අප සිදුකරන්නේ එදා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැද සුද්දා අතින් මරණයට පත්වූ සියදහස් ගණනක් මිනිසුන්ගේ ආත්මය මරා දැමීමකි. 

Thursday, October 24, 2013

"පොදු රද මඩුල්ල" (අභිමානය ඔබයි)


පොදු රද මඩුල්ල
(සුදු ජාතිකයාගේ සංගමය)

1796
පර සුද්දා

1818
පර සුද්දා

1848
පර සුද්දා

2013

අභිමානය ඔබයි.

Wednesday, October 16, 2013

"අහිමිවීම තුළ හිමිවීමක් .... සමහරවිට"



මම කැමති ඇයට යි,
ඇය කැමැති ඔහුට යි.

අහිමිවූ ආදරය, හිතවත්කම, ලෙන්ගතුකම මතකයට නැගුමෙන් සිත් තැවුල ඇතිවෙනවා. හිමි නොවූ ආදරය  දුක, කණස්සල්ල ඇති කරනවා. ඒත්,  ඒ ගැන මෙහෙම හිතුවොත්, හිමිවීම - අහිමිවීමක්, අහිමිවීම -හිමිවීමක්  කියල. මම හිතන්නේ ගොඩක් පහසු වේවි තේරුම් ගන්න. මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයාගේ වචනයෙන් ම මේ ගැන කතා කරනවනම්.

ඇතැම් චරිත හෝ දේවල් අපට හිමිවීම යනු හිමි විය යුතු චරිතය හෝ දෙය අහිමි වී මයි. ඇතැම් දේ අහිමි වීම යනු හිමි විය යුතු දෙයට ඉඩකඩ සැලසීම යි.
                                                     (මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ)

ප්‍රේමය,විරහව,වේදනාව ජීවිතයට එකතුකරගන්නෙ කොහොමද කියල මහා කවි කාළිදාසයන්ගේ කාව්‍යක් ගෙන හරිමින්, සරළව පැහැදිලි කරනවා.

ජීවිතයට අනර්ථකර දෙය හිමි නොකොට ගත යුතු අතර අර්ථකර දෙය හිමිකොට ගත යුතු වෙයි. ඒවා අපට පාලනය කළ හැකි මට්ටමේ පවතින තත්වයයි. එහෙත් සොබාදහමේ සංසිද්ධීන් නිසා ඇතිවන හිමිවීම් හෝ අහිමිවීම් අපට වැළැක්විය හැකි නොවේ. ගිම්හානයේ දී කැමති වුවත් අකැමැති වුවත් සැඬ හිරු කිරණ ප්‍රතික්‍‍‍ෂේප කළ හැකි නොවේ.වර්ෂා සමයක දී වර්ෂාව සමග ජීවත් වීමට සිදු වෙයි. සොබාදහමට සංවේදී වූ කලාකරුවා සැම සෘතුවක ම ඇති සුන්දර අර්ථ දකියි. ගිම්හානයට ආවේනික සුන්දරතා විදගන්නා ඔහු, ගිම්හානය නිමා කරමින් එන වර්ෂාව ද විඳියි. වර්ෂා සමයෙන් පසු එළඹෙන ශරත් සෘතුවේත් එයිනික්බිති එළඹෙන හේමන්තයේත් චමත්කාරය දකින ඔහු තදනන්තර ව එන ශිශිරයත්  ශිශිරයෙන් පසුව එළඹෙන වසන්තයත් උපරිමාකාරයෙන් විඳගනියි. මේ අනුව යට කී සෘතු හය පුරා විහිද යන අවුරුද්දේ සෑම දවසක් ම තමාට හිමි සම්පතක් කොට ගන්නා ඔහු ජීවිතය විඳියි.
                                                    (මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ)

අහිමිවීම තුළ හිමිවීමක් ....  සමහරවිට

Friday, October 11, 2013

"ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙව’ඟන"



සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි                          මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර                             තන
දිසි රන ලියෙව් රූසිරි යුත්                            මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති                දෙවඟන


                                                  (සැළලිහිණි සංදේශය)

Thursday, October 10, 2013

"සත්‍යම්,සිවම්,සුන්දරම්"


නෙත් අඳව මෝහයෙන්
වියරු වී පාපයෙන්
නැග්ගෝ ගිජ්ජකූටයට
පෙරලනුව ගල් කුළක්.
එතෙකුදු
මරන්නට බැරි වී ය
සත්‍යය.
මන්ද යත්
මෙත් බලය වූ නිසා
ළය පුරා සත්‍යයේ.
ඉනික්බිතිව ය ඔවුන්
අන් මඟක් සෙවූවෝ
එම්බා ජුදාස්
නො බව තොප කිසිවකට
ද්‍රෝහිකමට දෙන්නෙමුය
තිහක් ම රිදී අතට
කටු ඔටුණු පළඳවා
ලේ ගලන වදමල් ද
ගෙල වටා පළදවා
ගෙන ගියෝය සත්‍යය
කුරුසියේ ඇණ ගසන්නට.
නොමළේ ය එහෙත්, සත්‍යය
දෙසුවෝ බණ කඳු හිසට නැඟ
ප්‍රභාකර සේ ප්‍රභාස්වර වී

අත් නොහැර ඇත ඔවුන්
පවිටු වෑයම උනගෙ
මී සමඟ මිශ්‍ර කොට
බොවයි බල කරත්ම ය
එදා සොක්‍රටීස් අතට දුන්
හළා හල විස බඳුන

බිය නොවව් දරුවනේ ඉනිඳු
මරන්නට නොහැකි වේ, සත්‍යය
මක් නිසා ද යත්
සුබ නිසාය සත්‍යය
සුන්දර නිසාය සත්‍යය
ගිම්හාන මධ්‍යාහ්නයේ
ප්‍රභාස්වර සූර්යයා සේ
බබුලුවා හිනැහේය
සද්ධර්ම මාර්ගය
සුබ මංගල්‍යයක් වූ
සුන්දර වූ සත්‍යය
අහා.......
සත්‍යම්,සිවම්,සුන්දරම්


(ඩබ්ලියු.ඒ. අබේසිංහ: රතුම රතු)


Wednesday, October 9, 2013

"සංවර්ධනය "



සංවර්ධනය ගැන මඩිහේ මහනායක හාමුදුරුවෝ අවුරුදු 30කට කළින් කරපු සරල විග්‍රහයක්.   

මිනිසා පරිහානියට පත්කොට, මුළු රට පංච දුශ්චරිතයෙන් දුරාචාරයෙන් පුරවා, මිනිසාගේ ආධ්‍යාත්මය විනාශ කොට, රටක් සංවර්ධනය කළ නොහැකියි. අහස උසට ගොඩනැගිලි හැදුවත්, පාර පුරා නවීන යාන වාහන ධාවනය වුවත්, ආභ්‍යන්තරික සංවර්ධනයෙන් තොරව රට සංවර්ධනය කළ නොහැකියි.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඥාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

(මඩිහේ මහනාහිමි ජාතික චින්තාවලී:දිවයින-1982.03.24)

අද ?
            
සංවර්ධනය

හෙට ?
       
සංවර්ධනය

අනිද්දාට
  
?



Tuesday, October 8, 2013

ධනාත්මක චින්තනය ධනාත්මකද?

ප්‍රභාකරන්ට දැක්මක් තිබුණා. ප්‍රභාකරන් ඔහුගේ ඉලක්කයට ඉතාම වේගයෙන් ගියා. ශක්තිමත්ව, සැලසුම් සහගතව ජයග්‍රහණය වෙත දිනෙන් දින ලංවුනා.  අවසානයේ කෝටි සිය ගණනක් දෙමළ මිනිසුන්ගේ වීරයා බවට පත්වුනා. ඔහු සාර්ථකවූ සෑම මොහොතකම සිංහල -දෙමළ මිනිස්සු කී දෙනෙක්නම් වැලපෙන්නට ඇතිද. ප්‍රභාකරන් යනු එක් උදාහරණයක් පමණි. සක්විති රණසිංහ, රොහණ විජේවීර, ආර් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, සොත්ති උපාලි මේ හැමෝම ප්‍රභා අයත් කුලකයේම අන්තර්ගතයකි.   

පෞරුෂත්වය යනුවෙන් ඔබ අදහස් කරන්නේ මමත්වය කුපිත කිරීමක් හෝ ඇවිස්සීමක් නම් ශක්තිමත් පෞරුෂත්වයක් යනුවෙන් මට සිතෙන්නේ කණගාටුදායක මෙන්ම තදබල සැකයට භාජනය වන දියුණුව පිළිබඳ මිම්මකි. හිට්ලර් හා මා ඕ සේතුං ද ශක්තිමත් පෞරුෂත්වයන් තිබූ අය වේ.

නැවැත්විය නොහැකි වෙනස් නොකළ හැකි අධිෂ්ඨානය අවශ්‍යයෙන්ම ධනාත්මක නොවේ. එසේ වන්නේ එය පසුපස ඇති අරමුණ මතය.

ශක්තිමත් පුද්ගලිකත්වය සහ මනසේ ශක්තිය පටලවා නොගැනීම වැදගත්. මට හමුව ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ට යට‍ත් නොකළ හැකි මානසික ශක්තියක් තිබිණි. ඔවුනට සිත් ඇදගන්නා පෞරුෂත්ව තිබිණි. ඔවුන්ගේ ශරීරයන්ගෙන් සොබාවික ශක්ති කදම්බයක් විහිදුණු බව ඔවුන් මුණගැසුනු ඕනෑම අයෙකුට හැඟිණි. නමුත් විශාල වෙනස වූයේ ඔවුන්වෙත මමත්වයේ අල්පමාත්‍රයක්වත් නොතිබීයි. (මම අදහස් කරන්නේ ආත්මාර්ථකාමිත්වය හෝ තමා ගැනම සැළකීමට පොළඹවන මමත්වයක් ගැනයි.) ඔවුනගේ මානසික ශක්තිය ඇතිවූයේ දැනුමෙන්, ශාන්ත භාවයෙන් සහ අභ්‍යන්තර  නිදහසෙනි. එය නොසැලෙන ලෙස, ස්ථීරව ඔවුන්ගෙන් මතුපිටින් පිළිබිඹු වුනි. ඔවුන් හිට්ලර්, මා ඕ සේතුං වැනි අයගෙන් සදහටම ඈතින් සිටි පුද්ගලයින්ය. එම නම් සඳහන් අයගේ බලවත් පෞරුෂත්වයේ ඵලය වූයේ අනුන් යටත් කිරීමේ තදබල ආශාව, අහංකාරකම, ලෝභය හා ද්වේෂයයි. අවස්ථා දෙකේම හමුවන්නේ විශාල බලයකි. පළමු අවස්ථාවේ එය ප්‍රයෝජනවත් පරාර්ථකාමය තැකීමක් වන අතර, දෙවන අවස්ථාව සෘණාත්මක සහ විනාශකාරී වේ.

භික්ෂුව සහ දාර්ශනිකයා: ප්‍රංශ ජාතික මැතිවු රිකාඩ් භික්ෂුව.

Monday, October 7, 2013

නිශ්ශබ්දතාවය

දෑත බිම ඔබා,
පස්සට වාරු වී,
නිසල ව හුන්
ඇගේ ලිහිල්
කෙස් රොදක්,
නිහඬ ව හමන
සුළගින්
එසවී,
මා මුහුණෙහි
හැපෙත්ම,
ඇගේ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක්
පුළ පුළා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.

මසකු හඬ නගා දැගලූයෙන්,
ගං ඉවුර අස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණ.
ඈත ඉවුරෙහි
උස්ව වැඩුණු
මහ උණ පඳුරින්
අහසට නැඟුණු
කොබෙය්යෙක්
කෑගාගෙන
පියාඹා ගියේ ය.

ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවක් පැතිරිණ.
ඇගේ රන් වන් දිගටි මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.
නිශ්ශබ්දතාවය දැඩි විය.
පෙදෙස වසාගෙන පැතුරුණු
නිහඩ බැවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්,
දිගටි,
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.


ජී.බී. සේනානායක